ඌරාකැට ළිද යනු පුරාණයේ දක්නට ලැබුණු, අද වනවිට දුර්ලභ වශයෙන් දක්නට ලැබෙන ළිං වර්ගයකි. දඹදෙණි යුගයෙන් පසුව ආරම්භ වු බව සැලකෙන ඌරා කොට ළිද තෙත් කලාපයේ ජීවත්වන ජනතාවට නම් අරුමයක් නොවන්නේය.තෙත් කලාපයේ වර්ෂාව වැඩි වුවද ඉඳහිට ඇති වන නියඟ කාලවල අවශ්‍ය ජලය – ස්‌ථිර උල්පත් ආශ්‍රිතව ලබා ගැනීම සඳහා ඌරා කැට ළිං බිහි වු බව කියැවේ.
ඌරාකැට ළිද හඳුන්වන නම් කිහිපයක් දක්නට ලැබේ ඌරා ළිං, ඌරාකොට, ඌරා කැටේ,ඌරා කොටේ ආදී වශයෙනි.
ඕනෑම ඉඩෝරයකට නොසිඳෙන ජල උල්පත් ආශ්‍රයෙන් සාදන ලද නොගැඹුරු පටු ළිං විශේෂයක්වන ඌරා කොට ළිද කඳුකර , තෙත් කලාපයේ බහුලය. නමුත් ඌරා ළිං මුහුදුබඩ විරලය.
උඩරට අදත් අවුරුදු 200 – 300 තරම් පැරැණි ඌරා ළිං ඇත. යුද බළකොටු තුළ පානීය ජල අවශ්‍යතා සඳහා සෑරූ ඌරා ළිං තිබී ඇත. සීතාවක හා රත්නපුර සමන් දේවාල බළකොටුව තුළ ඌරා ළිං මෙයට උදාහරණයි. මහනුවර දළදා මැඳුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඉපැරැණි ඌරා ළිඳක් ඇත.
ඌරා ළිඳක උඩ විෂ්කම්භය අඩි තුනක් පමණ වෙයි. ළිඳ යටට යන විට එය අඩි දෙකක් තරම අඩු වී පටුවන වේ. ළිඳ යටට යන විට ළිඳ පටුය. ළිඳේ ගැඹුරද අඩුය. උපරිම ගැඹුර අඩි 6 – 8 තරමය. සමහර ළිඳක ගැඹුර ඊට මදක් වැඩි වෙයි. ළිඳ සාරා ගැනීම මහන්සිය අඩුය. බොහෝ විට ළිංවල ජලය උතුරා යයි.
ළිඳෙ ආරක්‌ෂාව හා පවිත්‍රතාව සඳහා ළිඳ වටා පැතිරී යන පරිදි කුඹුක් – මිල්ල – කොස් වැනි කඳක මැද කුහරය සාරා ඉවත් කොට කඳේ අරටුව ළිඳ වටා බස්‌සවා ඇත. ඒ මගින් ළිඳේ ඉවුරු ශක්‌තිමත් වෙයි. කල් පවතියි. ජලය බොර නොවෙයි. සිසිල රැකෙයි. සමහරක් ලී කොට කඳන් නොදිරා අවුරුදු 300 තරම තවම ඇත.
සමහර ස්‌ථානවල රවුම් ලී කඳන් වෙනුවට පිළිස්‌සු රවුම් මැටි වළලු ළිඳ වටා ගිල්වා ඇත. ඒවා බැරල් ළිඳට එබ්බුවා වැනිය. මැටි වළලු දිගුකල් පවතී. ළිං ජලය මැටි කළයක මෙන් පවිත්‍රය. සිසිල්ය. ඌරා ළිඳක ගිල් වූ මේ රවුම් මැටි වළල්ලක උස අඩි 1 1/2 තරම වේ.
ළිඳ උඩින් වසා තැබීමට විශාල මැටි කොරහක් වැනි භාජනයක් ඉඳහිට භාවිතා කර ඇති බව පැවසේ. නැත්නම් ජලය බහුල වර්ෂා කාලවල මැටි වළල්ලක් ළිං කටට ඔබා ළිඳ වසා දමා යළි නියං කාලවල ළිඳ ඉස ප්‍රයෝජනයට ගනී. ළිඳේ මුව සමහර විට සරල කැටයම්වලින් සරසා ඇත. ළිඳෙන් ජලය ගැනීමට ළිඳ ළඟ මැටි බඳුනක් හෝ පොල් කටුවක් තබා තිබුණි.
මහනුවර නාථ දේවාල බිමේ මිදුලේ අඩි තුනක් විෂ්කම්භය ඇති ගැඹුරු අඩි පහක් පමණ යුතු මැටි වළලු එබූ ඌරා ළිඳක් විය.කටුගස්‌තොටට නුදුරු පූජාපිටිය විලාන ගමේ කොස් කොට එබ්බූ අවුරුදු දෙසීයක් පැරැණි ඌරා ළිඳක් ඇත.උඩරට පැරැණි ගම්වල අදත් අවුරුදු 200 – 300 පැරැණි ඌරා ළිං භාවිතයට ගැනේ. ඒවායේ දැව කඳන් හෝ මැටි වළලු යට කොට ඇත.
මෙවැනි ආකාරයේ සුවිශේෂී වූ ඌරාකැට ළිඳක් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල – රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය සහ ටැම්පිට විහාරයට යාබද වූ මනරම් වෙල් යායක දක්නට ලැබේ. අති විශාල කුඹුක් ගසක් මුල එහි මූල පද්ධතිය ඇසුරුකරගනිමින් ඉදිකර ඇති මෙම ළිඳ පුරාණයේ පටන්ම භාවිතයේ ඇති බවට ගැමියන්ගේ අදහසයි.
වර්තමානයේ ළිං වළලු ලෙස බහුලවම භාවිතා වනුයේ සිමෙන්ති කොන්ක්‍රීට් ළිං වළලු වේ. මෙම සිමෙන්ති කොන්ක්‍රීට් ළිං වළලු හා සැසඳීමේදී මෙම ඉපැරණි මැටි වළලු යෙදවුම මගින් ඉතාමත් නැවුම්, සහ සිසිල් ජලය ලබාගැනීමට හැකියාව ඇති බව පෙනේ. එසේම ළිඳ සඳහා ඉතාමත් කුඩා ඉඩ ප්‍රමාණයක් අවැසි වීමත් නිසා වර්තමානයට බෙහෙවින් වැදගත් වන මෙම ළිං, කුඹුක් වැනි ශාක ඇසුරින් තැනීම මගින් දැඩි නියඟ සමයන්හිදී පවා නොසිඳෙන නැවුම් ජල මූලාශ්‍රයක් ලෙස භාවිතා කිරීමට හැකිවී ඇති බව පෙනේ.